Search This Blog

Sunday, March 13, 2016

විදුලිය ඇණහිටීමට හේතුව හෙළිවෙයි-ඒත් සම්පූර්ණ පරීක්ෂණයක්

විදුලිය ඇණහිටීමට හේතුව හෙළිවෙයි-ඒත් සම්පූර්ණ පරීක්ෂණයක්

දිවයින පුරා ඇණ හිට තිබූ විදුලි බලය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.

මධ්‍යම රාත්‍රීය වන විට විදුලි බලය යථා  තත්ත්වයට පත් කිරිමට හැකියාව ලැබූ බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඊයේ පස්වරු 02.30ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටිමක් සිදුවූ අතර ප.ව  06.00 පමණ දක්වාත් මෙම විදුලිය බිද වැටීමට අදාළව නිශ්චිත තොරතුරු සොයා ගැනිමට අපොහොසත්විය.

එහෙත්  විදුලිබල අමාත්‍යංශය කඩින් කඩ ජාතික විදුලි බල පද්ධතිය යළි සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබිණි.

මේ අතර විදුලිය බිද වැටීමත් සමග නොරොච්චෝලය බලාගාරයේ විදුලි සැපයුම ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

කෙසේ වෙතත් ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදී විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ විදුලිය බිදවැටිම සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර නිශ්චිත විසදුම් ලබාදිමට කටයුතු කරන බවයි.

එමෙන්ම පාරිභෝගිකයින් පත් වූ අපහසුතාවය පිළිබඳව කණගාටුවට පත් වන අතර ඒ සදහා සමාව අයද සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද උදෑසන මෙම විදුලිය බිදවැටිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට සැලසුම්කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් අදාළ විදුලිය බිදවැටිමට හේතුව බියගම ප්‍රදේශයේ විදුලි උපපොළක සිදු වූ හදිසි කාර්මික දෝෂයක් බවත්,එහි ප්‍රධාන ට්‍රාන්ස්ප්‍රෝමරයක පුපුරායාමෙන් හානි සිදුවීම ඊට බලපා ඇති බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන්ද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සදහන් කළේය.

බියගම සිද්ධිය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් කැඳවිමට ද සැලසුම්කර ඇති බව කියා සිටි සභාපතිවරයා මෙය  කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් වෙනමම පරික්ෂණයක් සිදු කරන බවද කියා සිටියේය.

මේ අතර මෙම විදුලිය බිදවැටිමේ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා ආපනශාල හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.

Tuesday, March 8, 2016

වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා


වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසේ වෙතත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා විදුලිබිල මත බර පටවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොකරන බවද අගමැතිවරයා කීවේය.

රාජපක්ෂ රෙජිමය අපේ රට ණය උගුලක සිර කළ බවත්, රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

රාජපක්‍ෂ රෙජීමය අපේ රට හසුකර ඇති ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටින බවත්, මේ ආකාරයට උගුලේ සිරවී සිටියොත් රටට අනාගතයක් නැති බව ඒ අය දන්නා බවත්, එහෙත්  ඒ අයට අවශ්‍ය රට විනාශයට පත් වෙනවා දැකීමට බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉන්පසු ‘මෙන්න, යහපාලන ආණ්ඩුව රට විනාශ කළා, රට හදන්න පුළුවන් අපිටයි’ කියමින් නැවත බලයට පත් වීම යැයිද පෙන්වාදුන්නේය.

රාජපක්‍ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීම බවද, මේ නිසා සිදුවූයේ ණය පිට ණය හා පොලී පිට පොලී පැටවීම බවද කියා සිටි අගමැතිවරයා රාජපක්‍ෂ රෙජීමය මේ ආකාරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නා රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටූ බවද කියා සිටියේය.

මේ නිසා පටු දේශපාලන කෝණ වලින් නොබලා, මේ ගමන යන්නට එකට එක් වන ලෙසත්, සියලුදෙනා එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත්, අපේ රට ඉහළට ඔසවා තැබීමට හැකි බවත්, අගමැතිවරයා පැවසුවේය.

Tuesday, March 1, 2016

යෝෂිත ඇතුළු සිව්දෙනෙකුගෙන් මානව හිමිකම් පෙත්සම්


දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යොෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නම් කර ඇති බව අදදෙරණ වාර්තාකරු පවසයි.

තමන් ඇතුළු පිරිස සී.එස්.එන් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා කොට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වාදී තිබේ.

එසේ වුවද තමාට එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එකී චෝදනාවලින් නිදහස් කරලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.