Search This Blog

Tuesday, January 5, 2016

මුත්‍රා අමාරුව - U.T.I.(Urinary Tract Infection)



මොකක්ද මේ U.T.I ? සමහර විට ඔබ දැනටමත් දන්නව ඇති , විශේෂයෙන්ම වයස අවුරුදු 2ට අඩු දරුවන් ඉන්නව නම් මේක ගැන හොඳට දන්නව ඇති , ඒ එක්කම පැටියට මේ ලෙඩේ හැදැනම පැටිය වගේම ගෙදර හැමෝම විඳපු , විඳවිල්ලත් මතක ඇති , ඔව් U.T.I. කියන්නේ Urinary Tract Infection කියන දිග නමේ කෙටි යෙදුම . ඒක සංහලෙන්ම කිව්වොත් “මුත්‍රා මාර්ග ආසාදනය “ කියන්න පුළුවන් . කෙටියෙන් කිව්වොත් “මුත්‍රා අමාරුව කියන්නේ ඕන්න ඕකට. දැන් අපි බලමු මේක අමාරුවක් වෙන්නේ කොහොමද කියල , ඒ ගැන කියන්න නම් ඉස්සර වෙලා අපේ පීල්ල මාරු කරගන්න වෙනවා Anatomy පාඩමකට .

දැන් අපි ටිකක් හදුනගන්න බලමු අපේ මුත්‍රා පද්ධතියේ සැකැසුම ගැන. මේ පද්ධතියේ ප්‍රධාන ස්ථාන හතරක් හදුනගන්න පුළුවන් , ඒ මුත්‍රා හදන ෆැක්ටරිය වකුගඩු (Kidney) , හදපු බඩු ගබඩාවට ගෙනියන මුත්‍රා වාහිනී (Ureters) , ඊට පස්සේ හදපු ඒවා වෙලාව එනකම් ගබඩා කර තබා ගන්න Bladder (මුත්‍රාශය) සහ වෙලාව ආවම නිශ්පාදනේ එළියට දාන දොර මුත්‍රා මාර්ගය (urethra) . ..මේ කතා කළ දේට අමතරව මේ පද්ධතියට වැඩකරන්නට අවශ්‍ය පහසුකම් දෙන රැධිරවාහිනි (Blood vessels) , පණිවිඩ ගෙනියන දුරකතන ජාලයක් වගේ ස්නායු (Nerve)  වගේ අයත් උදව් වෙනවා , ඒ හැමෝම ගැන මෙතන කතා කරන්න ගියොත් කියනව අයටත් මේ අමාරුව හැදේවි වෙලාවට මුත්‍රා බැහැරලන්න නොගියොත් ..


මේ කතා කළ ඒකක ඇතුලේ  විෂබීජ නැති බොහොම “පිරිසිදු පරිසරයක්“ තමයි සාමාන්‍යෙයන් තියෙන්නේ , ඒ නිසා ඉන් හැදෙන මුත්‍රාත් “ඉතා පිරිසිදුයි “ කියන්න පුළුවන් , ඒ කියනනේ ඒ තුල බැක්ටීරියා , දිලීර වගේ ක්ෂුද්‍රජීවීන් නැහැ නිරෝගී අවස්ථාවේදි.  ඒ වගේම ඒ තත්ත්වයේදි මේ පද්ධතිය පුරාම හොඳ සක්‍රිය පරිසරයක් තියෙනවා , ඇතුලත බිත්තී නිරෝගීව සුමටව තියෙනවා ,

දොර ගාව භූතයා Urethritis 
ඒත් යම් ක්‍රමයකින් මේ පද්ධතිය ඇතුලට බැක්ටීරියාවෙක් , ක්ෂුද්‍රජීවියෙක් ඇතුළු වුනොත් මොකද වෙන්නේ ? .සාමාන්‍යෙයන් වෙන්නේ ම්‍රත්‍රා ගලා ඒමත් එක්ක එයාලාව ඉවතට පැමිනීමක් , ඒත් සමහර ක්ෂුද්‍රජීවීන්ට පුළුවන්  එසේ නොවි රැඳී සිටිමින් , එම  ප්‍රෙද්ශයේ පටක වෙනස් කරමින් තුවාල කරමින් “ආසාදනයක් Infection “ ඇති කිරීම. ඔය රෝග කාරක ජිවියා Pathogenic organism එක මුත්‍රා මාර්ගය තුල රැඳිලා එතැන ආසාදනයක් ඇති කළොත් ඒක වෛද්‍යවිද්‍යාත්මකව අපි නම් කරන්නේ Urethritis කියලා , හරිම වේදනාකාරී , ඒ වගේම අසහනකාරී තත්ත්වයක් , හැබැයි මේ කරදරකාරයා ඔතනින් ඉහළට ගියොත් ටිකක් කරදරේ වැඩියි , එතකොට ඒ රෝග කාරක ජීවියා මුත්‍රාශය කියන මල්ලේ බොහොම යසට වර්ධනය වෙනවා , ආසාදනය දරුණු කරනවා , ඔය දියවැඩියාව තියෙන අයට බහුලවම ඇති වෙන තත්ත්වය , මොකද එයාලගේ Bladder මල්ල ,පැණි මල්ලක් වගේනේ , සීනී එහෙම තියෙන නිසා , අනෙක එයාලගේ රෝග වලට ඔරොත්තු දෙන හයිය අඩු නිසා , රෝග කාරකයෝ මුත්‍රාශය ඇතුලේ පදිංචි වෙලා “ඩෙගා  නටනවා“ , එතකොට හැදෙන තත්ත්වය අපි නම් කරන්නේ Cystitis නමින් ,

මේ දෙකේදිම මුත්‍රා කරත්දි දැවිල්ලක්(Dysurea)  ඇති වෙනවා , මුත්‍රා කරන්නට පටන් ගත්තමයි , අවසන් වුනාමයි ඒ දැවිල්ල හුඟක් වැඩි වෙනවා .(මතකද හොඳ දැවිල්ලට කෑමක් කාපු දවසටත් ඔය වගේ දැවිල්ලක් එනවා , ඒ වෙනම හේතුවක් ) අනෙක මුත්‍රා කරල ඉවර වුනත් “තව තියෙනවා වගේ දැනෙනවා“ සමහර විට ආයෙත් බින්දු කීපයක් පිටතට එන්නත් පුළුවන් (Hesitancy) , මුත්‍රා වලින් තද ගඳකුත් එනවා ,ඒ එක්කම බඩේ තද කැක්කුමක් එනවා , උණකුත් එක්කම . පොඩ්ඩන්ට හැදුනම කන්නේ බොන්නෙත් නැතුව යනවා. එයාලට මේ එක්කම බඩ බුරුල්වෙලා යන්න වගේ තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන් .

ඔතනින් වැඩේ වලක්ව ගන්න බැරි උනොත් ලෙඩේ ටිකක් උඩට යනවා  ඒකියන්නේ දැන් වකුගඩු වල ආසාදයක් ඇති කරනවා , මේ තත්ත්වය ටිකක් භයානකයි ,නිසි ප්‍රතිකාරයක් නොගත්තොත් ලොකු කරදරයක වැටෙන්න පුළුවන් තත්ත්වයක් , ඒ එක්කම මේ තත්ත්වයේදි ප්‍රතිකාරය වගේම පසු නිරීක්ෂණ සහ පරික්ෂණ හරිම වැදගත් , මොකද මේ රෝග කාරකයාට හැංගිලා ඉන්න පුළුවන් තැන් වැඩියි දැන් . ඒ නිසා ප්‍රතිකාරයේ නිසි පල ගන්න නම් ලෙඩ හදන්නාව සොය සොයා පහරදීල සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕන , සාම සාකච්ඡා තියා තියා සැරින සැරේට ලෙඩේ මතුවුනාම විතරක් බෙහෙත් ගන්න ගියොත් ඉතින් වැඩ ඔක්කොම කොට උඩ යන්න පුළුවන්.

මෙතැන ලෙඩේ අවස්ථා කිහිපයක් තියෙනවා , පයලෝනෙෆ්‍රයිටිස් කියන්නේ ඉන් බහුල අවස්ථාවක් , මෙතැනදි අර මුලින් කී ලක්ෂණ වලට අමතරව කොන්ද දෙපැත්තෙන් එන තද කැක්කුමක් එක්ක , ගැහින උණ ගන්නවා , කන්න බොන්න නම් බෑ , වමනෙම තමයි . මේ තත්ත්වයේදි ගෙදර තියාගෙන අත් බෙහෙත් කරන්න යන්න එපා , සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න , ඒ යත්දි පුළුවන් නම් U.F.R. (Urine Full Report) කියන සරළ මිළ අඩු පරීක්ෂණය කරවාගෙන යන්න පුළුවන් නම් හොඳයි , නැතත් රජයේ රෝහලකදි එය නොමිලේම කර ගන්නත් පුළුවන්.

මේ වගේ ලක්ෂණ එක්ක ඔබ රෝහල ගියොත් මූලික පරික්ෂාවකට පස්සේ Urine Culture and A.B.S.T කියන පරීක්ෂණය කරන්නට පුළුවන් , එතැනදි ඔබට කරකවල වහන්න පුළුවන් මූඩියක් තියෙන විශේෂ බෝතලයක් (විෂබජ කිසිවක් නැති) දේවි , ඕකට මුත්‍ර ටිකක් අරන් දෙන්න කියල කියාවි රෝහල් සේවකයා හෝ හෙදිය (මේ ගැන නිවැරදිව පැහැදිලි කරල දීම සෞඛළු කාර්ය මණ්ඩලයේ වගකීමක් ), හොඳට මතක තියා ගන්න , ඔය පරික්ෂණේට මුත්‍රා සාම්පලය ගන්න විදිය හරිම වැදගත් , මොකද වැරද ක්‍රමයට මුත්‍රා ගත්තොත් ලෙඩේ හරියට හඳුන ගන්න බැරි වෙනවා , සමහර විට අනවශ්‍ය බෙහෙතක් පාවිච්චි කරන්නත් වෙන්න පුළුවන් , මෙන්න මෙහෙමයි හරියට මුත්‍රා සාම්පලේ ගන්නේ , ඔය බෝතලේත් අරගෙන කැසිකිලියට යන්න (දැන් ඉතින් රජයේ රෝහල් වල කැසිකිලි ගැන කතා කරන්න ගියොත් ...?) දැන් ඔය බෝතලය පිරිසිදු තැනකින් (?????????) තියලා (උපක්‍රමයක් විදියට කඩදාසියක් උඩින් තියන්නකෝ) හොඳට අත් සෝද ගන්න , (කුණු පොඟවන්න නොවෙයි , නිවැරදිව අතසෝදගන්න ..මේ ගැන කතා කරල තියෙන නිසා ආයෙත් ඕන නැහැනේ ) දැන් සබන් සහ වතුරින් මුත්‍රා විවරය සහ ලිංගික අවයව ආශ්‍රිත ප්‍රෙද්ශය හොඳින් සෝදන්න , පිරිමි ඔබ ඔබේ පෙරසම පිටුපසට කරල හොඳින් පිරිසිදු කරගන්නම ඕන , ඊට පස්සේ පියන තරමක් බුරුල් කරන අතරේ මුත්‍රා කරන්න ආරම්බ කරන්න , මුල් මුත්‍රා ටික බැහැරට ගියාට පස්සේ තමයි සාමපලයට අවශ්‍ය මුතා ටික ඔය බෝතලේට අරගෙන පියන ඉක්මණින් හොඳින් වහන්නට ඕන (මතක තියා ගන්න , පියනේ ඇතුල අල්ලන්න එපා  ඒක වටෙන් අල්ලගෙන අතේම තියා ගන්න ) දැන් බෝතලය වටේ හොදින් පිසදාල භාර දෙන්න පරික්ෂණාගාරයට යවන්නට.

මේ පරික්ෂණ වල ප්‍රතිපල එක්කම ඔබට ප්‍රතිජෛවක භාවිත කරමින් ප්‍රතිකාර ආරම්භ කරාවි , සමහර විට දවස් දෙකක් යනකොටම ලෙඩේ “හොඳයි වගේ දැනෙනවා“ , ඒත් වෛද්‍ය උපදෙස් අනුව නියමිත කාළයටම , (සමහර විට සති දෙකක් , මාස දෙකක් වගේ දිගු කාළයක් වෙන්නත් පුළුවන් ) ඖෂධ ගන්න , මොකද අපි මුලින් කීවා වගේ මේ රෝග කාරකායා හැංගිලා  ඉතිරි වුනොත් ආයෙත් කරදරයක් වෙනවා , සමහර විට සති කිහිපයකට පස්සේ නැවතත් ඔබ පරික්ෂණ සඳහා කැඳවාවි , යන්න , මේ පරික්ෂණ මගින් රෝගය සම්පුර්ණයෙන් සුව වුනාදැයි සොයාගන්නට පුළුවන් , පොඩ්ඩන්නට , විශේෂයෙන් කොළු පැටවුන්ට මුත්‍රා අමාරුවක් හැදුනොත් ටිකක් කරදරයි , කාළයක් ප්‍රතිකාර වගේම විශේෂ පරික්ෂණ කිහිපයකුත් වරින් වර කරන්නට වෙනවා. ඒ අතරේ මුත්‍රා මාර්ගයට බටයක් ඇතුළු කරල කරන M.C.U.G(Micturating CystoUrethrorygram) මුල් තැනක් ගන්නවා.

දැන් අපි අමාරුටික කතා කරානේ , අපි දැන් බලමු මේකට හේතු මොනවාද කියලා , මේ රෝග කාරකයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අපේ මළපහ සමඟ පිටවන අය , ඊ.කෝලායි කියන කෙටි නමින් කියන බැක්ටීරියාවා මේ අතර ප්‍රධානයි, ඉතින් මළපහ වල ඉන්න අය කොහොම මෙතැනට එන්නේ , උත්තරේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම , විශේෂයෙන්ම මෙම ප්‍රෙද්ශය පිරිසිදු කිරීමක් කරනවානම් Front to back නීතිය හරිම වැදගත් , ඒ කියන්නේ ඉදිරිපස සිට පිටු පස දිසාවට පමණයි පිරිසිදු කරන්නේ , කිසිම වෙලාවක ගුදයේ සිට මුත්‍රා විවර දෙසට පිසදැමීම් කරන්න එපා , විශේෂයෙන්ම පැටවුන්ගේ පිරිසිදු කිරීම වලදි මේ ගැන අවධානයෙන් ඉන්න.
කොහොමත් කාන්තා පාර්ශවය මේ සඳහා අවදානම වැඩියි , ඒ ඔවුනගේ මුත්‍රා මාර්ගය කෙටිවිම නිසා , ඒ වගේම ලිංගික එක්වීමකදි ඇතුලු වන විෂබීජ එම ප්‍රෙද්ශයේ රැඳීමේ හැකියාව වැඩිවීම , ඒ නිසා කාන්තාවන් තම සනීපාරක්ෂක ක්‍රම සහ පවිත්‍රතාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට වෙනවා , ලිංගික එක්වීමකට පස්සේ ම්‍රත්‍රා බැහැරලීමත් පිරිසිදු කර ගැනීමත් මෙම ආසාදනය වලක්වා ගැනීමට වැදගත් උපක්‍රම.ගර්භනී කාන්තාවනුත් මේ සඳහා අවදානම් ඒ නම් වෙනත් හේතු කිහිපයක් ,  ගර්භාෂයේ තෙරපීමත් එක්ක මුත්‍රා සම්පුර්ණයෙන් පිටවීම නොවීම , අවහිරවිම් වගේ හේතු නිසා ඒ . සමහර උපත් පාලන ක්‍රම(Diaphram)මගිනුත් මේ තත්ත්වය කාන්තාවන්ට ඇති කරනවා.

ඒ වගේම දියවැඩියාව හෝ කාළීන ඖෂධ ගන්නා අයටත් මේ අවදානම වැඩියි  ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමට ඇති අවස්ථාව නිසා , විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකාර ගන්නා රෝගීන් හුඟක් පරිස්සම් වෙන්න ඕන , ඒ විතරක් නොවෙයි රෝහලගත වෙලා ඉන්න අවස්ථාවේ මේ තත්ත්වය බෝවන්නටත් පුළුවන් Cross infection කියන ක්‍රමයට සෞඛ්‍ය කණ්ඩායමේ කෙනෙක්ගේ අතින්මත්.

වයස් ගතවීමත් තවත් සාධකයක් , මීට අමතරව මුත්‍රා බට (catheter) දාල තියෙන අයෙක්ටත් U.T.Iඇති වෙන්න අවස්ථාව වැඩියි  , ඒත් නිසි පිළිවෙත් මගින් එය පාලනය කරන්නත් පුළුවන් .ඒ වගේම බොහෝ S.T.D එක්ක (sexually Transmitting Diseases) එක්ක මේ නැවත නැවත ඇතිවන U.T.I  හිතවත්.ඒ එක්කම Urinary system එකේ යම් යම් විකෘතිතා ඇති අයටත් මේ අවස්ථාව වැඩියි.

හරි..දැන් මේකෙන් වලකින්නම් ....ඔව් ....හොඳට බොන්න ඕන ..ඒකිව්වේ වයසට , ප්‍රමාණවත් තරමට දියර වර්ග පානය කරන්නම ඕන , අනෙක නිසි අවස්ථාවේ මුත්‍රා බැහැරලීම හරිම වැදගත් , පල්කර කර තියා ගන්න එපා ...තමන්ගේ ශාරීරික පවිත්‍රතාව personnel hygiene හොඳින් පවත්වා ගන්න , පැටවුනට Diapers අන්දනවානම් (නොඅන්දනවා නම් වඩාත් හොඳයි , මොකද ටික වෙලාවක් ගියාම Diaper එක විෂබීජ ගුහාවක්)  අපිරිසිදු වූ අවස්ථාවේම එය ඉවත් කර පිරිසිදු කරන්න ඕන  . ලිංගික එක්වීමකට පෙර සහ පසු ලිංගික ප්‍රෙද්ශය හොඳින් පිරිසිදු කරගන්නත් මතක තියා ගන්න . එහෙම වුනොත් U.T.I. අවස්තාවක් වන  honeymoon cystitis තත්ත්වය වලක්වා ගන්නම පුළුවන් .

No comments:

Post a Comment