Search This Blog

Saturday, December 26, 2015

දරුවාගේ මානසික වර්ධනය - ඇතිවිය හැකි ගැටළු




අන්තර්ජාලයෙන් කරුණු උපුටා ගෙන සකස් කරන ලද ලිපියකි.
සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.
  
"අපේ පුතා හරිම දඟයි.” ”අපේ දුව වැඩිය කතා කරන්නෙ නෑ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා.”

ඒ වගේ කතා ඔබත් අසා ඇතිවාට සැක නැහැ. කුඩා දරුවන් ඇති මවුපියන්ට දරුවන්ගේ ඒ වගේ හැසිරීම් ඉතා ගැටලුකාරී තත්ත්වයක්. එවැනි ලක්‍ෂණ දරුවන් වෙතින් පෙන්නුම් කරන්නේ ඇයි, ඒවා යථා තත්ත්වයට පත්කරගත හැකිද? ඒ සඳහා කළ යුත්තේ මොනවාද? වැනි ගැටලු අපි ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය වෙත යොමු කළෙමු.

දරුවකුගේ කිසියම් මානසික අඩුපාඩුවක් ඇතිනම්, එම දරුවා වෙතින් පෙන්නුම් කෙරෙන විශේෂ ලක්‍ෂණ, වෙනස්කම් මොනවාද?

ළමයා යනු මානසිකව සහ ශාරීරිකව දිනෙන් දින මොහොතින් මොහොත වර්ධනය වන කෙනෙක්. ළමයාගේ වර්ධනය එක තැනක නැවතී තිබෙන්නේ නෑ. කිසියම් ළමයකු තුළ මානසික ඌනතාවක් ඇති බව දැනගත හැකි වන්නේ එම වයසේ වෙනත් දරුවන් කරනු ලබන සහ කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව සන්සන්දනාත්මකව විමසා බැලීමෙන්.

ළමා අවදිය යනු සෑම අංශයකින්ම ඉක්මන් වෙනසක් වර්ධනයක් දකින්න ලැබෙන කාලයක්. ළමා කාලයේ සිට වැඩිහිටි වියට පත්වන තෙක් එක් එක් කාල පරිච්ඡේද වලදී කායික, බුද්ධිමය සහ සමාජමය වශයෙන් ළමයා දියුණු වෙනවා. මේ, මේ වයසේදී මේ මේ දේවල් කළ යුතු යැයි කියා සම්මතයක් තිබෙනවා.

එලෙස කිසියම් වයසකදී ළමයකු කළ යුතු කාර්යක් හෝ කීපයක් නොකරන්නේ නම්, එම දරුවාගේ වර්ධනයේ අඩුපාඩුවක් තිබෙනවා.

කිසියම් දරුවකු තුළ මානසික වර්ධනයේ ඌනතාවයක් ඇති බව හඳුනාගන්නේ ඒ ආකාරයෙන්. උදාහරණ හැටියට දරුවකු ඇවිදීමට, බහතේරීමට, කතා කිරීමට, ප්‍රමාදවීම මෙන් ම වෙනත් දරුවන් සමඟ මුහුවීම එකට එකතු වී වැඩ කිරීම ප්‍රමාදවීම වැනි ලක්‍ෂණයන් කිසියම් දරුවකු වෙතින් පෙන්නුම් කළ හැකියි.

එසේම තවත් දරුවකු අනෙක් සෑම විෂයකටම දක්ෂතා පෙන්නුම් කර ගණිතය වැනි එක් විෂයට දක්ෂ නොවිය හැකියි. කුඩා දරුවකු වෙතින් පෙන්නුම් කරන මානසික වර්ධනයේ ඌනතා ලෙස හඳුනාගන්නේ එම තත්ත්වයනුයි. සාමාන්‍ය දරුවන් මෙන් නැති වුණත් මෙම දරුවන් සෙමෙන් සෙමෙන් ඉබි ගමනින් මෙන්, ඉහත සඳහන් කළ හැකියාවන්ගේ වර්ධනයක් පෙන්නුම් කරනවා. එසේම මෙම දරුවන්ගේ වර්ධනය වීමේ චක්‍රය ඒ අයුරින්ම පෙන්නුම් කරනවා.

ප්‍රධාන වෙනස වන්නේ සමාජයේ අනෙක් දරුවන්ගේ වර්ධනයට වඩා ප්‍රමාදයක් පෙන්වීම පමණයි. මේ දරුවකුගේ වර්ධනය පැත්තෙන් ඇතිවන ගැටලු.

හොඳින් කතා කරමින් සිටි දරුවකු හදිසියේම කතා නොකිරීම මානසික වර්ධනයේ සහ මානසික ඌනතාවක් ද?

ඔව්; එවැනි දෙයක් සිදුවන්නේ දරුවකුගේ වර්ධනය හදිසියේ ම ඇනහිටීමකින්. හදිසියේ ම කතාව ඇනහිටීම මෙන්ම දරුවකු තුළ පවතින තවත් හැකියාවන් වන වචනවලින් තොරව අංග චලනවලින් යමක් ප්‍රකාශ කිරීමේ හැකියාව නැතිවීම ද දරුවන් තුළ ඇතිවන තවත් මානසික ඌනතාවක් නිසා ඇතිවන තත්ත්වයක්. උදාහරණයක් ලෙස ඇඟිල්ල දිගුකර යමක් පෙන්වීමේ හැකියාව, මුහුණින් ඉරියව්වලින් ඉඟියකින් යමක් ප්‍රකාශ කිරීමේ හැකියාව නැතිවීමත් මෙහිදී දක්වන්න පුළුවනි.

එලෙස දරුවාට තමන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කරගන්න නොහැකි වුණාම ප්‍රචණ්ඩ වීම,හැඬීම වැනි වෙනත් හැසිරීම් දක්වන්න ළමයා පෙලඹෙනවා. ඒ වගේම සම වයසේ දරුවන් සමඟ හොඳින් එකතුවීම වැනි හැකියාවන් ඉතාම හොඳින් පෙන්නුම් කරන තවත් දරුවකු පාසල් යාම පටන්ගත් විට අධ්‍යාපන කටයුතුවලට දුර්වලතාව පෙන්නුම් කළ හැකියි. මෙම දරුවනට කතා කිරීමට,ගීත ගායනා කිරීම මෙන් ම සමවයසේ යහලුවන් සමඟ ඇසුරු කිරීමටත් හොඳ හැකියාවක් ඇතත් මොවුන් අකුරු ලිවීමට ගිය විට අකුරු නිවැරැදි ලෙස හඳුනා ගන්නේ නෑ. ඇතැම් විටෙක එවැනි දරුවන් අකුරු ලියන්නේ පැත්ත මාරු කරමින්. මෙම රෝග තත්ත්වය Dyslexia ලෙස හඳුන්වනවා. මෙම දරුවනට කියවීමට ගණන් හැදීමට මෙන්ම යම් යම් සංකල්ප හඳුනා ගැනීමේ අපහසුතාව තිබෙනවා. එවැනි දරුවන් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් ලෙස හඳුන්වනු ලබනවා.

ඇතැම් දරුවන් ඉතා දඩබ්බර දඟ ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම තත්ත්වයන් දරුවන් තුළ ඇති කිසියම් මානසික ඌනතාවයක් නිසා සිදුවන්නේ ද?

බොහෝ දරුවන් වෙතින් පෙන්නුම් කරන ලක්ෂණයක් තමයි අධික දඟ ස්වභාවයක් පෙන්නුම් කිරීම.

බොහෝ මවුපියන් ඒ තත්ත්වය දරුවා කිසියම් මානසික ඌනතාවයක් නිසා හට ගන්නක් බව තේරුම් ගන්නේ නෑ. එසේ දරුවාගේ තත්ත්වය නිවැරැදි ලෙස තේරුම් නොගෙන දරුවනට සැරවැර වීම, දඬුවම් කිරීම ඉතා වැරදියි. මෙම දරුවන් “අධි ක්‍රියාකාරී දරුවන්” ලෙසයි හඳුන්වනු ලබන්නේ. මෙම රෝග තත්ත්වය Attenti on Defficient Hyperactivity Disorder (ADHD) ලෙස හඳුන්වනු ලබනවා. එසේම ළමයින් වෙතින් දඟ ස්වභාවය පෙන්නුම් කෙරෙන තවත් මානසික ඌනතාවයක් තිබෙනවා. එය හඳුන්වනු ලබන්නේ Sensory intergration problem ලෙසයි. මෙම තත්ත්වයට හේතුවන්නේ දරුවන්ගේ මොළයේ වර්ධනයත් සමඟම සිදුවන අසාමාන්‍යතාවයක්. ඇතැම් විටෙක එවැනි දරුවන් තමන්ගේ කන්වලට දැනෙන ශබ්දය වැඩි නම් කන් වසාගෙන පැත්තකට වී සිටිනවා. ඇසෙන ප්‍රමාණය මදි නම් එම දරුවන් අධික ලෙස කෑ ගසමින් හෝ අධික ශබ්දයක් ඇසෙන සේ යමකට ගසමින් සිටිනවා.

ඒ දරුවනට සන්සුන් වීමට එම ශබ්දය යම් පමණකට හෝ අවශ්‍යයි. මෙම රෝගී තත්ත්වයට හේතු වන්නේ දරුවාට වටපිටාවෙන් දැනෙන උත්තේජනවලට වැඩි හෝ අඩු බවයි. මෙම තත්ත්වයන් වැඩිහිටියන් හොඳින් තේරුම් ගත යුතුයි. එසේම වෛද්‍යවරයා ද මෙවැනි දරුවන්ගේ තත්ත්වය නිවැරැදිව තේරුම් ගැනීම අවශ්‍යයි. එසේ තේරුම් නොගෙන අධික්‍රියාකාරී දරුවන් යැයි කියා ඖෂධීය ප්‍රතිකාර ලබාදීම වැරදියි. එය දරුවාට කරනු ලබන අසාධාරණයක්.

ඉහතින් දැක්වූ අධික්‍රියාකාරී දරුවන් (ADHD) තුළ අවධානය අඩුයි; ක්‍රියාකාරකම් වැඩියි. ක්‍රියාකාරිත්වය වැඩි නිසා මෙම දරුවනට එක දෙයකට අවධානය යොමු කිරීම ඉතා අපහසුයි. මෙවැනි දරුවන් ඉතා ආවේගශීලියි. උඩ නැගීම, බිමට පැනීම, නිවසේ බඩු බාහිරාදිය නිතර ඇදීම වැනි ක්‍රියාකාරකම් මේ දරුවන් අධිකව පෙන්නුම් කරවා. එවැනි හැසිරීම් තමන්ගේ නිවසට පමණක් සීමා වන්නේ නෑ. මෙම දරුවන් පන්සලකට පල්ලියකට ගිය විටද ඉතා දඟ හැසිරීම් පෙන්නුම් කරනවා.

පාසලේදී එවැනි දරුවන් ගුරුවරුනට ඉතාම කරදරයක් ලෙස හැසිරෙනවා. මෙම දරුවන් මුළු පන්තියටම බාධාවන අයුරින් කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්න ගුරුවරයාගෙන් අසනවා. තමාගේ වාරය එනතෙක් ඉවසා සිටීමට මොවුන්ට නොහැකියි. මේවා ඒ දරුවන් සිතා මතා කරන ක්‍රියාවන් නෙමෙයි. අධික්‍රියාකාරිත්වය නිසා දරුවන් සිදු කරන ඉහත ක්‍රියාවන් බොහෝ විට මවුපියන් වැඩිහිටියන් නොසලකා හරිනවා. “ළමයි ඔහොම තමයි. ළමයි කොහොමත් දඟයිනේ” කියා වැඩිහිටියන් පවසනවා. එය වැරදි මතයක්. කුඩා අවදියේදී පෙන්නුම් කරන එවැනි ලක්‍ෂණ දරුවාගේ මොළය ටිකින් ටික දියුණු වන විට තරමක් මගහැරී යා හැකි වුවත් සියයට හැටක් පමණ ලක්‍ෂණ වැඩිහිටියන් වූ විට පවා පෙන්නුම් කළ හැකියි. එවැනි මානසික තත්ත්වයකින් පෙළෙන දරුවන්ගේ ජීවිතයට විශාල වශයෙන් පාඩු සිදුවෙනවා. අඩු අවධානය නිසා බොහෝ විට මොවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙනවා.

එවිට ගුරුවරයා වෙතින් මෙන් ම පන්තියේ සිටින අනෙක් දරුවන් වෙතින් මෙම දරුවා කොන් වෙනවා. වැඩිහිටියන් වූ පසුව මත්පැන් වලට මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ කුඩා අවදියේ මෙවැනි මානසික ඌනතාවයක් පෙන්නුම් කළ දරුවන් බව පෙනී ගොස් තිබෙනවා. ඒනිසා එවැනි අධික්‍රියාකාරී දරුවන් සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි.

හොඳින් කතා කරමින් සිටි දරුවකු හදිසියේ ම ගොත ගැසීමට හෝ කතාව සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පෙලඹෙනවා. ඒ ඇයි?

දරුවකුට එකවර ඇතිවන චිත්ත වේගයක් නිසා දරුවකුගේ හැසිරීම එකවරම වෙනස් වෙන්න පුළුවනි. බාහිරින් මෙම දරුවන්ට බලපානු ලබන ප්‍රශ්න බොහෝවිට ඒ සඳහා හේතු වෙනවා. ගොත ගැසීම ඉතා පුංචි දරුවන් වෙතින් දකින්න ලැබෙන ලක්‍ෂණයක්. වයස අවුරුදු 2 – 3 දරුවකුගේ බහ තෝරන වයසයි. ඒ වගේම එම වයස දරුවකුගේ භාෂාව හොඳින් දියුණුවන වයසයි. එම වයසේ දරුවන් අදහස් ගණනාවක් එකවර ප්‍රකාශ කිරීමට උත්සාහ කරමින් එය කරගත නොහැකිවීමත් නිසා එම වයසේ දරුවන් වෙතින් ගොත ගැසීමක් පෙන්නුම් කළ හැකියි.

කතා කිරීමේදී හුස්ම ගැනීම සහ අදහස් ප්‍රකාශ කිරීම යන දෙකම එකවර සිදුවිය යුතුයි. හුස්ම උඩට අල්ලා ගනිමින් කතා කිරීම අපහසුයි. ඉතා කුඩා දරුවන් ගේ ගොත ගැසීමක් සිදුවන්නේ හුස්ම උඩට අල්ලාගෙන කතා කිරීමට යාම නිසයි; ඒ වගේම ඉතා සුළු කාලයකදී අදහස් විශාල ප්‍රමාණයක් ප්‍රකාශ කිරීමට යාම නිසයි. එසේම දරුවකු තරමක් ලොකු වූ පසුව දරුවාට බලපානු ලබන යම් යම් චිත්ත වේගයන් නිසාද දරුවකු ගොත ගැසීමට පෙලඹෙනවා. “ඔටිසම්” වැනි රෝග තත්ත්වයකදී හොඳින් කතා කර කර සිටින දරුවන්ගේ කතාව ඉබේටම නැවතෙනවා.

දරුවකු තුළ සුළු ගොත ගැසීමක් පවතින විට “පුතේ ඔහොම නෙමෙයි කතා කරන්නේ. හරි විදියට කතා කරන්න” කියා කියන්න කියන්න දරුවාගේ ගොත ගැසීම වැඩිවෙන්න පුළුවනි. මෙහිදී ක්‍රමයෙන් අඩු වේගයකින් දරුවාට කතා කිරීමට පුහුණු කළ විට දරුවගේ ගොත ගැසීම බොහෝවිට නැතිවී යනවා. මෙහිදී දරුවාට හුස්ම ගැනීමට පුහුණු කිරීමත්, දරුවාගේ මනස සන්සුන් කිරීමත් ඉතා වැදගත්. එවැනි ක්‍රමවලින් දරුවාගේ ගොත ගැසීම නැවැත්වීම අපහසු නම්, කථන චිකිත්සකවරයකුගේ උපදෙස් ලබාගැනීම අවශ්‍ය වෙනවා.

දරුවකු කතා කළ යුත්තේ කුමන වයසේදී ද?

දරුවකු ඉපදී මාස 4 ක් 5 ක් පමණ යන විට ඒ දරුවා පුංචි පුංචි ශබ්ද පිට කරනවා. ඊට පසුව “බම් බම්”, “මම් මම්” වැනි ශබ්ද පිට කිරීමට පටන් ගන්නවා. එය හඳුන්වන්නේ “බබ්ලින්” යනුවෙන්. දරුවකුට අවුරුද්දක් පමණ වන විට එම දරුවා වචනයක් දෙකක් කියන්න ගන්නවා. එසේ කියන වචන සාමාන්‍යයෙන් නිවැරැදිව කියන්න හැකියාව තිබෙනවා. එවිට “අම්මා” “තාත්තා” වැනි වචන පිට කරනවා.

දරුවාට වයස අවුරුදු 2 ක් වන විට වචන දෙකක් එකතු කර කීමේ හැකියාව දරුවාට තිබෙනවා. ඒ, “අම්ම ගියා” වැනි වාක්‍ය. දරුවාට අවුරුදු 3 ක් පමණ වන විට වචන 3 ක වාක්‍යයක් කීමේ හැකියාව දරුවාට ඇති වෙනවා. ඒ වගේම අවුරුදු 3 ක් වන විට වචන 20 කට අධික සංඛ්‍යාවක් දරුවා දන්නවා. මෙහිදී වයසට අනුව දරුවකු කතා කරන වචන ප්‍රමාණය එකම වයසේ දරුවන් අතර වුවත් යම් යම් වෙනස් අගයන් ගන්න පුළුවන්.

තවත් දරුවන් පිරිසක් ඉන්නවා වැඩිහිටියන් කියන දේම ඒ අයුරින්ම කියන. මෙයත් එක්තරා අඩුපාඩුවක්. ඒ බව නොදත් අම්මලා “අපේ දරුවා අපි කියන එකම කියනවා. හොඳට කතා කරනවා” කියා පවසනවා. ඒ සිතිවිල්ල වැරදියි. තමන්ට ඇහෙන දේ ඒ අයුරින්ම ගිරවෙක් වගේ කියන එක දරුවන් තුළ ඇතිවන ඌනතාවයක්.

දරුවන්ගේ කතාවලින් හෙළි වන තවත් ගැටලු තිබෙනවා ද?

ඕනෑම දරුවෙක් කතා කරන ස්වරයක් තිබෙනවා. එය වෙනස් වන්නේ ශබ්දය උස් පහත් කරන ආකාරය අනුව. ඇතැම් දරුවන් කතා කරන්නේ ඉතා ඉහළ ස්වරයෙන්. ශබ්දය උස් පහත් කරමින් ශබ්දය පිට කිරීමට එම දරුවන් දන්නේ නෑ. මෙයත් එක්තරා අන්දමක ගැටලුවක්. ඒ වගේම ඇතැම් දරුවන් වැඩිහිටියන් පාවිච්චි කරන වචන කියමින් ඉතා ගැඹුරු දේවල් ප්‍රකාශ කරනවා. හර බර දේවල් කතා කරනවා. මෙවැනි දරුවන්ට තමා කියන දේ මේ අවස්ථාවේ කීම සුදුසු ද කියා තේරෙන්නේ නෑ. තම මව්පියන් නිවසේදී කතා කළ දේවල් එවැනි දරුවන් ඒ ආකාරයෙන්ම සමාජය ඉදිරියේ තබනවා. දරුවන්ගේ මෙවැනි හැසිරීම් නිසා මවුපියන් ඉතා අපහසුතාවට පත්වන අවස්ථා තිබෙනවා.

වැඩිහිටියන් කතා කරන විට එයට බාධා කරමින් ඇතැම් දරුවන් හැසිරෙන්නේ ඇයි?

ඒ; ආවේගශීලී දරුවන්ගේ එක්තරා ලක්ෂණයක්. ඒ දරුවන්ට තමන්ගේ වාරය එන තෙක් සිටීමට ඉස්පාසුවක් නෑ. ඊට අමතරව කුඩා දරුවන් තමන් කෙරෙහි මවුපියන්ගේ අවධානය යොමු කරවා ගැනීම සඳහාත් ඒ විදියට හැසිරෙනවා

බහතෝරන වයසේ පසුවන දරුවන්ට රූපවාහිනිය නැරැඹීමට සැලැස්වීම සුදුසු ද?

ගෙදර දොරේ වැඩ පහසුවෙන් කරගැනීමට ඇතැම් අම්මලා දරුවාව රූපවාහිනියට යොමු කරනවා. එසේ නැතිනම් මව රැකියාවකට ගොස් ඇතිවිට දරුවා බලාගන්නා වැඩිහිටියා,තමන්ගේ පහසුවට දරුවාට රූපවාහිනිය නැරැඹීමට සලස්වනවා. මෙය ඉතාම අහිතකර වැරැදි ක්‍රියාවක්. කතා කිරීමට ප්‍රමාද දරුවන් රූපවාහිනියට යොමු කිරීම ඉතාම අහිතකරයි. අවුරුදු 2 කට අඩු දරුවන් රූපවාහිනියට යොමු කිරීම සුදුසුම නෑ. දරුවකුට අවුරුදු 5 ක් පමණ වන තෙක් දිනකට පැය 2 කට වැඩියෙන් රූපවාහිනිය නැරැඹීමට ඉඩ දීම සුදුසු නෑ.

බොහෝ අම්මලා දරුවා නළවන්නේත් දරුවාට කවන්නේත් රූපවාහිනිය දමාගෙන. ලෝකයේ මේ වන විට කර තිබෙන පර්යේෂණ මඟින් හෙළි වී ඇත්තේ නිතර රූපවාහිනිය නැරැඹීමට දරුවා යොමු වීම දරුවාගේ මානසික වර්ධනයට බාධාවක් බවයි.

රූපවාහිනියෙන් විකාශය වන ටෙලි නාට්‍යවලින් මෙන්ම වෙනත් වැඩ සටහන් වලින්ද සෑම විටම පෙන්වන්නේ දරුවන් තිගැස්සීමට ලක්වෙන දර්ශන. දරුවාගේ වර්ධනයට එය බාධාවක්. එලෙස දරුවා නිතර නිතර තිගැස්සුණු විට දරුවාගේ මොළය තුළ අනවශ්‍ය රසායනික ක්‍රියාදාමයක් සිදුවී එය දරුවාගේ මානසික වර්ධනයට සෘජු ලෙසම බලපෑම් ඇති කරනවා.

වයස අවුරුදු 3 න් පසුව දරුවාට රූපවාහිනිය නැරැඹීමට දෙන්නේ නම්, දරුවා සමඟ මව එක්වී සංවාදයක් ලෙස රූපවාහිනී වැඩසටහන නැරැඹීම සුදුසුයි. එසේ නැතිව රූපවාහිනී වැඩසටහනටම අවධානය යොමු කරගෙන එහිම එල්බගෙන රූපවාහිනිය නැරැඹීම සුදුසු නෑ.

රැකියාවකට යන මවකගෙන් දරුවා දුරස් කර දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තැබීම මඟින් දරුවාගේ කතා කිරීමට බාධා ඇතිවේ යැයි කීම මිථ්‍යාවක්. කතා නොකරන දරුවන් එම වයසේම තවත් දරුවන් පිරිසක් අතරට යැවීම කතා කිරීමට පහසුවක් ගෙන දීමට සමත්.

මව්පියන්ගේ හැසිරීම් දරුවකුගේ මානසික ශාරීරික වර්ධනයට කෙතරම් බලපෑමක් කරනවා ද?

මවුපියන්ගේ හැසිරීම් දරුවන්ගේ වර්ධනයට සෘජු ලෙසම බලපානවා. දරුවන් සමාජය අනුකරණය කරන පිරිසක්. තමාට සමීපතම මවුපියන්ව දරුවා සෘජු ලෙසම අනුකරණය කරනවා. තාත්තා නිවසේදී ප්‍රචණ්ඩකාරී හැසිරීමක් පෙන්වන්නේ නම් දරුවා තාත්තා මෙන්ම ප්‍රචණ්ඩව හැසිරීමට පෙලඹෙනවා. අම්මා නිවසේදී කෑගසා කතා කරයිනම් දරුවා ද කෑගසා කතා කිරීමට පෙලඹෙනවා. ඒ නිසා මවුපියන් දරුවන් ඉදිරියේ හැසිරිය යුත්තේ ඉතාම වගකීමෙන් යුතුවයි.

දරුවන්ට සීමාවන් පැනවීම නුසුදුසු ද?

දරුවන්ට යම් යම් දේවල්වලට අවස්ථාව ලබා දීමත් යම් යම් දේවල් වලට සීමාවන් පැනවීමත් කළ යුතුයි. දරුවකුට තමා ආරක්ෂිත යැයි දැනෙන්නට නම් සීමාවල් තිබිය යුතුයි. එසේ නැතිවූ විට ලණුව ලිහන ලද ගවයකු මෙන් දරුවා ඕනෑම පැත්තකට යන්න ඉඩ තිබෙනවා. ඕනෑ දෙයක් කරන්න ඉඩ තිබෙනවා.

සීමාවන් තුළ සිටින විට දරුවාට තමා ආරක්ෂිතයි කියා හැඟීමක් ඇති වෙනවා. එය ඉතා වැදගත්. ඒවා දැඩි නීති නොවිය යුතුයි. උදාහරණයක් විදියට කිසියම් වෙලාවකට කලින් ගෙදරට එන්න ඕන යැයි කියා මවුපියන් විසින් දන්වා තියෙනවානම් දරුවා සැම විටම සිතනවා ඒ වේලාවට කලින් ගෙදරට එන්න. ඒ වේලාව පහුවෙලා ගෙදර යන්න ගියොත් තමාට අනතුරක් වේයැයි හැඟීමක් දරුවාට ඇති වෙනවා.

“මට කරදරයක් වෙන්න ඉඩ තියෙන නිසයි අම්මලා මේ වේලාවට කලින් ගෙදර එන්න කිව්වේ"කියලා දරුවා සිතනවා. එවිට දරුවා නියමිත වේලාවට නිවසට එනවා. එසේ නැතිව මේ වේලාවට කලින් ගෙදර එන්න ඕන. නැතිනම් ගහනවා යැයි කීම වැරදියි.

මවුපියන් මේ විදියට සීමාවන් දමන්නේ තමාගේ ආරක්ෂාවට බව දරුවාට වැටහෙන්න ඕනැ. ඒ නිසා දරුවාගේ වර්ධනයට මවුපියන්ගේ සුපරීක්ෂාකාරී බව ඉතා වැදගත්. ඒ වගේම අම්මයි තාත්තයි දරුවාට ආදරය කරන බව දරුවාට දැනෙන්න ඕන. ඒ වගේම තමන්ගේ නිවස සිර ගෙයක් නොවන බවත් තමන්ට නිදහසේ සෙල්ලම් කිරීමට නිදහසක් නිවස තුළ තිබෙන බවත් දරුවන්ට දැනෙන්න ඕන. හොඳ මානසික තත්ත්වයක් ඇති දරුවකු බිහිවීමට එය ඉතා ප්‍රයෝජනවත්.

පාසල් යන වයසේ පසුවන දරුවන් නිතර හිසේ කැක්කුමයි බඩේ කැක්කුමයි යැයි කීම කිසියම් මානසික තත්ත්වයක් නිසා සිදුවන්නක් ද?

සෑම දෙයකටම මානසික හේතුවක් ඇතැයි සිතීම සුදුසු නෑ. ඇතැම් විට දරුවන්ගේ නිතර ඇතිවන හිසේ කැක්කුම් බඩේ කැක්කුම්වලට කිසියම් ශාරීරික හේතුවක් තිබෙන්නත් පුළුවනි. එවැනි ශාරීරික හේතුවක් නැති විට දරුවකු එවැනි මැසිවිල්ලක් කියයිනම් එය දරුවා තුළ තිබෙන මානසික පීඩනය එළියට පෙන්වන එක් ක්‍රමයක් විය හැකියි.

පාසල් වැඩ කිරීමට ඇති අපහසුව, යහළුවන් සමඟ ඇතිකරගන්නා ගැටුම් ආදිය මෙවැනි මානසික පීඩනයකට හේතු විය හැකියි.

දරුවන් වෙතින් ඉහතින් දැක්වූ ආකාරයේ මානසික ඌනතාවයන් පෙන්නුම් කිරීමට හේතු මොනවා ද?

එවැනි තත්ත්වයන් ඇතිවීමට ළමයා තුළ ඇතිවන චර්යාත්මක වෙනස්කම්, මෙන්ම චිත්තවේගී වෙනස්කම් ද හේතු වෙනවා. මෙම දෙආකාරයේ වෙනස්කම්වලට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ දරුවා සතු ගතිගුණයි. චිත්ත ස්වභාවයයි.

කිසියම් දරුවකු සතු ගතිගුණවලට, චිත්ත ස්වභාවයට බොහෝ දුරට හේතු වන්නේ මවුපියන්ගේ ජානවලින් එන ගති ලක්ෂණයි. මවගේ පියාගේ බුද්ධි මට්ටම දරුවන්ගේ බුද්ධි මට්ටමටත් සිතිවිලි රටාවටත් බලපෑමක් කරනවා. ඉහත සඳහන් කළ හේතූන් සෑම එකකම ප්‍රතිඵලයක් හැටියටයි ළමයකු තුළින් මානසික රෝගාබාධ පෙන්නුම් කරන්නේ.

කිසියම් දරුවකුට වෙනත් ළමයෙක් ශාරීරික හිංසාවක් කළ විට, ගුරුතුමිය දොස් නැඟු විට එකවරම මානසිකව වැටෙන්නේ නෑ. එම දරුවා මානසිකව වැටෙන්නේ පරිසරයෙන් එන පීඩනයන්, කැලඹීම් දරාගත නොහැකි නිසයි. ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකියාවක් නැතිවූ විට මානසිකව හැකිළෙනවා. ඒ නිසා මවුපියන් හොඳ මානසික සවිමත් බවක් ළමයාට ලබාදීමට උත්සාහ කිරීම වැදගත්. ළමයින්ගේ මනසේ ඇතිවන රෝගාබාධවලට හේතු මේ යැයි සෘජුවම කිව නොහැකියි.

ළමයකුගේ මානසික ස්වභාවය වෙනස්වීමට මවගේ හැසිරීම සෘජුවම බලපානවා. කිසියම් ආකාරයකින් ළමයා ළදරු වියේදී මව මානසික ආතතියෙන් පෙළෙයි නම්, ළමයාගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අම්මාට හැකි වන්නේ නෑ. එය දරුවාත් මවත් අතර බැඳීම අඩුවීමට හේතුවක්. ඉපදුණු දා පටන් මව තම දරුවාට දක්වන ආදරය, මවත් පියාත් අතර ඇති බැඳීම දරුවාගේ මානසික වර්ධනයට ඉතා වැදගත්.

ඉහතින් දැක්වූ මානසික ඌනතාවයන්ගෙන් දරුවන් මුදා ගැනීමට ප්‍රතිකාර තිබෙනවා ද?

ඉහතින් දැක්වූ ගැටලුවලට කලින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දුන්නොත් දීර්ඝ කාලීනව එන්න තිබෙන ගැටලු අවම වෙනවා. කිසියම් අයුරකින් මෙවැනි දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ නැතිනම්, එම දරුවා වැඩිහිටියක් වන්නේ ද එම මානසික ඌනතාවයන් සමඟයි. එම නිසා තම දරුවා තුළින් කිසියම් මානසික වෙනස්කම් පෙන්නුම් කරන්නේ නම් ඒවාට ඉක්මනින් ප්‍රතිකාර කිරීමට ක්‍රියා කිරීම ඉතා වැදගත්.

අධි ක්‍රියාකාරිත්වය වැනි රෝගවලට ඖෂධීය ප්‍රතිකාර තිබෙනවා. ඊට අමතරව ළමයින්ගේ හැසිරීම නිවැරැදි කරන චර්යාත්මක ප්‍රතිකාර මව්වරුන්ට පහදා දෙනවා. ගුරුවරුනුත් මෙවැනි දරුවන් පිළිබඳව අවදියෙන් කටයුතු කළ යුතුයි. මෙම රෝගවලදී දෙන ඖෂධීය ප්‍රතිකාර දීර්ඝ කාලීනව ගත යුතු යැයි කියා බිය විය යුතු නෑ. බොහෝ ඖෂධ කෙටිකාලීනයි. එම ඖෂධවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. ඇතැම් ඖෂධ පාසල් නිවාඩු කාලයේ දෙන්නේ නෑ. ඒ නිසා මෙම ප්‍රතිකාර ඉතාම සරලයි.

මානසික ඌනතාවක් ඇති දරුවන් පිළිබඳව නිවෙසේ උදවිය, අවට සිටින්නන් කෙසේ හැසිරිය යුතු ද?

දරුවන් සැම විටම උත්සාහ කරන්නේ තමන් කැමැති දේ ලබා ගැනීමටයි. තමන්ට අවශ්‍ය දේ නිවෙසේ කා වෙතින් හෝ ලබා ගැනීමට දරුවන් උත්සාහ කරනවා. ළමයෙක් කිසියම් වරදක් කළ විට “පුතේ ඒක වැරදි දෙයක්, නිවැරැදි දේ මේකයි” යනුවෙන් පෙන්වා දිය යුතුයි. අම්මා නිවැරැදි යැයි දරුවාට පෙන්වා දෙන දේ තාත්තා විසින් වැරදි යැයි පෙන්වා දීම සුදුසු නෑ. එවිට නිවැරැදි දේ කුමක් ද කියා තීරණය කරගැනීමට දරුවාට නොහැකි වෙනවා. දරුවා මානසික අවුලක පැටලෙනවා. එසේම ළමයෙක් සුළු හෝ හොඳ දෙයක් කළ විට එය අගය කිරීම ඉතාම වැදගත්. නිවෙසක වැඩකටයුතුවල කිසියම් පිළිවෙළක් තිබීම දරුවන්ගේ මානසික තත්ත්වය හොඳ වීමට ප්‍රබල හේතුවක්.

No comments:

Post a Comment