Search This Blog

Saturday, December 26, 2015

Febrile convulsions (දරුවාගේ උණ වලිප්පුවට බය වුණාද)




අන්තර්ජාලයෙන් කරුණු උපුටා ගෙන සකස් කරන ලද ලිපියකි.
සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.

දරුවන්ට උණ සමඟ ඇතිවන “වලිප්පුව“ එම දරුවාගේ දෙමව්පියන්ට, ආදරණීය ඥාතීන්ට ඇති කරන්නේ ඉතා බියකරු මානසිකත්වයක්. මඟදිගට ඇතිවිය හැකි රිය අනතුරු අවදානමද නොතකා , තමන් නිවසේදී ඇඳසිටි ඇඳුම් පවා නොතකා දරුවා රෝහලට රැගෙන එන ආකාරය රෝහලේ සේවය කරන අයට සුලබ දසුනක්. කිසිසේත් බියවිය යුතු නැති මෙම රෝග තත්ත්වය ගැන අද අපි කතා කරමු.

මෙම රෝග තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ වයස මැස 6 ක් , අවුරුදු 6 ක් අතර කුඩා දරුවන්ටයි. වයස අවුරුදු 7 න් පසුව දරුවන්ට මෙය හැදෙන්නේ නැතිම තරම්. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණයක් වන “වලිප්පුව“ අවස්ථාව , තවත් රෝගයක් වන මී මැස්මොරය හෙවත් “අපස්මාරය” වලදීද දකින්න ලැබෙන නිසා එම රෝගය ගැන දෙමව්පියන් අනියත බියක් ඇතිකර ගන්නවා. නමුත්, මෙම උණ වලිප්පුව රෝග තත්ත්වය කිසිසේත් “මී මැස් මොරය හෙවත් අපස්මාර” තත්ත්වයක් නම් නෙවෙයි.

උණ වලිප්පුව ඇතිවන නියම හේතුව තවම පැහැදිලි නැහැ. කිසියම් වෛරස රෝගයකදී හෝ උණ සෑදීගෙන එන විට මොළයේ ඇතුළත ස්නායු ක්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනසක් නිසා මෙම තත්ත්වය ඇතිවෙනවා. මෙම රෝග තත්ත්වය ඇතිවන වයස් පරතරය සලකා බලන විට, ඒ අතරින්, වයස මාස 12 -18 අතර දරුවන්ට සුලභව ඇතිවෙනවා. වලිප්පුව සෑදුන විට එය විනාඩි කිහිපයක් සමහර විට විනාඩි 15 පමණ දක්වා පැවතිය හැකි වනවා. ඒ අවස්ථාවේදී උණ තත්ත්වය 100 F හෝ 38 C ට වඩා පවතිනවා.

සමහර විට උණ ගතිය පිටතට පෙන්වන්නේ නැහැ. වලිප්පුව සෑදුනු විට දරුවාගේ මුලු ශරීරයම වාගේ ගැහෙන ස්වභාවයක් , රිද්මයකට නලියන ස්වභාවයක්, ඇස් දෙක උඩට යාමක්, කිසියම් කෙඳිරීමක් හෝ සිහි නැති වූ තත්ත්වයක්, මුඛයෙන් කෙල හෝ සෙම පෙරෙන තත්ත්වයක් දැකිය හැකිවනවා. මෙවන් දරුවකුගේ දර්ශනය අපට දරාගත නොහැකි වූවත් කලබල විය යුතු නැහැ. අපගේ කලබලය නිසා දරුවාට සමහර විට විපතක් නම් සිදුවිය හැකි වනවා. විනාඩි කිහිපයකට පසුව වලිප්පුව ඉබේම නවතිනවා. වලිප්පුවට පසුව දරුවාට නිදිමත ස්වභාවයක් පැවතිය හැකි වෙනවා.

දරුවාට වලිප්පුව සෑදුන විට අවට පරිසරය ගැන සැලකිලිමත් විය යුතු වන්නේ, දරුවා වැටීමකට හෝ තුවාල වීමකට ලක්විය හැකි නිසයි. සෙම හෝ කෙල හෝ සමහර විට වමනය පිට උගුරේ ගොස් හුස්ම සිරවිය හැකි නිසා දරුවා පැත්තකට හරවා තබා ගැනීමත් (උදාහරණයක් ලෙසට පන්සලේදී ඔබ දකිනා සැතපෙන බුදු පිළිමයේ ආකාරයට) නිකට මඳක් උඩ පැත්තට එසවීමත් වැදගත් වනවා.

ඒ වගේම දරුවාගේ හුස්ම ගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කර තබා ගත යුතු වනවා. දරුවාගේ වලිප්පුව විනාඩි කිහිපයකට වඩා පවතිනවා නම් හෝ මුහුණේ අත් පා වල පැහැය වෙනස් වනවා නම් (නිල් පැහැයෙන් හෝ අඳුරු පැහැයක්) පමා නොවී වෛද්‍ය උපකාර ලබා ගත යුතු වනවා. වලිප්පුව ඇතිවිට නොකළ යුතු දේත් ඉතා වැදගත් වනවා. දරුවා ඉහළට ඔසවා තබා ගැනීම හෝ වඩා ගැනීම භයානක දෙයක් වෙනවා. දරුවාගේ කට ඇතුළට බෙහෙත් වර්ග, වතුර වැනි දියර වර්ග, හැඳි, ගෑරුප්පු වැනි උපකරණ කිසිසේත් ඇතුළත් කළ යුතු නැහැ. එහිදී දරුවාගේ ජීවිතය අවදානමකට ලක්විය හැකි වනවා. වලිප්පුව ඇති විටදී “උණ අඩු කිරීම” සඳහා බෙහෙත් වර්ග පෙවීමෙන්ද වැළකිය යුතු වනවා.

“උණ වලිප්පුව“ අවසානයේදී උණට හේතුව සොයා බැලීමට හා ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරයා වෙත රැගෙන යා යුතු වනවා. මීට අමතරව වලිප්පු අවස්ථාව දීර්ඝ කාලයක් පැවැත්වීම, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ ශරීරයේ පාට වෙනසක් ඇති විට, දැඩිලෙස අසනීප පෙනුමක් ඇතිවිට, පසු අවස්ථාවේදි සාමාන්‍ය ආකාරයට ප්‍රතිචාර නොදක්වන විට, විජලනය වී ඇති විට වහාම රෝහල් ගත කිරීම හෝ වෛද්‍ය උපකාර පැතිය යුතු වනවා. උණ වලිප්පුව බොහෝ විට සැදෙන්නේ එක්වරක් පමණයි. මෙම රෝග තත්ත්වය ඇති වූ දරුවන්ගෙන් තුනෙන් එකකට පමණ දෙවන වරක් හෝ ඉතා සුලු පිරිසකට තුන්වන වරක් ඇතිවිය හැකි වනවා. කෙසේ වෙතත් නැවත ඇතිවීමේ අවධානම සමහර කරුණු මත වැඩිවීමක් දකින්න ලැබෙනවා.

ඒ අනුව පළමු වලිප්පුව වයස මාස 15 ට අඩු අවදියේදී ඇතිවීම, පියාට මවට හෝ සහෝදර සහෝදරියකට වලිප්පුව සෑදීම,උණ ඉතා අඩු අවස්ථාවකදී උණ වලිප්පුව සෑදීම, උණ සෑදී වැඩි කාලයක් ගත වීමට පෙර වලිප්පුව සෑදීම වැනි කරුණු ඇතිවිට නැවත වරක් රෝගය ඇතිවීමේ අවධානමක් දකිනවා.

තවත් මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ මොලේ උණ, මෙනින්ජයිටීස් (meningitis) වැනි රෝග වළදීත් , තවත් යම් යම් කාරණා නිසාත් “වලිප්පුව“නැමැති රෝග ලක්ෂණය ඇතිවිය හැකි නිසා “උණ වලිප්පුව“ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් හා අවවාද ලබා ගැනීමේ වැදගත්කමයි.

උණ වලිප්පුව වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රතිකාර දැන් සිදු කරණු ලබන්නේ නැහැ. කෙසේ වෙතත් වලිප්පුව වැළැක්වීම සම්බන්ධයෙන් වූ ප්‍රතිකාර පිළිබඳ තීරණය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් අදාල අවස්ථාවලදී ගනු ලබනවා.

No comments:

Post a Comment